Friday, May 8, 2020

කෘෂිකාර්මික ව්‍යාපාරයක් සඳහා සුදුසු දේපලක් තෝරා ගන්නේ කෙසේද?

සුදුසු දේපලක් තෝරා ගැනීම නිෂ්පාදනවල පිරිවැය සමඟ සෘජුවම සම්බන්ධ වේ. කෘෂිකාර්මික ව්‍යාපාරයක් සඳහා ඔබට අවශ්‍ය ප්‍රධාන දේපළ වන්නේ ඔබ කෘෂිකාර්මික වගාවක්  ආරම්භ කිරීමට යන්නේ නම් ඉඩමක් හෝ අගය එකතු කළ නිෂ්පාදන ගැන සිතන්නේ නම් ගොඩනැගිල්ලකි. දේපල වර්ගය කුමක් වුවත්, තෝරාගැනීමේදී පහත සාධක සලකා බැලිය යුතුය.

1. වෙළඳපලට සහ අමුද්‍රව්‍ය ලබාගැනීමට ඇති දුර - ඔබ ඔබේ වෙළඳපොළෙන් හෝ අමුද්‍රව්‍ය සැපයුමෙන් දුරස්ථව ඇති ස්ථානයක් තෝරා ගන්නේ නම්, ඔබ නිෂ්පාදනයට අමතර ප්‍රවාහන වියදම් සහ නාස්තිය සදහා පිරිවැය එකතු කළ යුතුය. එය ඔබගේ නිෂ්පාදන මිල ඉහල යාමට හේතුවක් වේ. එබැවින් ඔබේ කර්මාන්ත ශාලාවට හෝ ගොවිපොළට ඔබේ වෙළඳපොළෙන් සහ අමුද්‍රව්‍ය සැපයුමෙන් ඇති දුර අවම කිරීම ඔබට වාසිදායක වේ. 

2. යටිතල පහසුකම් - ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රධාන යටිතල පහසුකම් වන්නේ විදුලිය, ප්‍රවාහනය හා ජලයයි. එබැවින් දේපලක් තෝරාගැනීමේදී මෙම මූලික යටිතල පහසුකම් තිබේද නැද්ද යන්න පරීක්ෂා කර බැලිය යුතුය. මේවාට අමතරව, ඔබේ ව්‍යාපාර ස්වභාවය අනුව දුරකථන, අන්තර්ජාල, රසායනාගාර අවශ්‍ය විය හැකිය. එබැවින් එම අවශ්‍ය යටිතල පහසුකම් තිබේද යන්න පරීක්ෂා කර බැලිය යුතුය.

3. අවට පරිසර තත්ත්වය - සමහරවිට අවට ප්‍රදේශය කුරුලු අභයභූමිය, ජාතික වනෝද්‍යානය වැනි ආරක්ෂිත ප්‍රදේශයකට ආසන්න විය හැකිය. එසේ උවහොත් අදාළ බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව ඔබේ ව්‍යාපාර ක්‍රියාවලිය සකස් කිරීමට ඔබට සිදු විය හැකිය. එය වියදම් අධික වීමටද ඉඩ තිබේ. 
සමහර විට ඔබේ දේපළ දුප්පතුන් ජීවත් වන ග්‍රාමීය ගමකට ආසන්න විය හැකිය; මෙම අවස්ථාවේ දී ඔබට අඩු වැටුපකට, නුපුහුණු ශ්‍රමිකයන් බඳවා ගැනීමෙන් ප්‍රතිලාභ ලබාගත හැකිය.

4. දේපලෙහි අනාගත වටිනාකම - ජනගහනය වර්ධනය වී ඉල්ලුම වැඩිවීමත් සමඟ බොහෝ විට දේපලවල වටිනාකම කාලයත් සමග වැඩි වේ. කෙසේ වෙතත් සමහර අවස්ථාවල ඔබේ දේපලෙහි අනාගත වටිනාකම අඩු වේ. නිදසුනක් ලෙස, යම් හානිකර අපද්‍රව්‍ය බැහැර කරන වෙනත් ව්‍යාපාරයක් ඔබේ දේපළ අසල ආරම්භ වන්නේ නම්, කාලයත් සමඟ ඔබේ දේපළ වටිනාකම අඩු වීමට එය හේතුවක් විය හැකිය. එබැවින් ඔබ අසල සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීම වඩා හොඳය. 

කෙසේ වෙතත්, ඔබට යම් විශාල ලාභයක් කෙටි කාලයක් තුළ ලබා, ඔබේ ආයෝජනය අය කර ගැනීමට හැකියව ඇති නම්, දේපල වටිනාකම ගැන වැඩිපුර කරදර විය යුතු නැත.

5. අත්පත් කර ගැනීමේ ක්‍රමය - ඔබේ ව්‍යාපාර සැලැස්ම මත, කෙටි කාලීන කල්බදු, දිගු කාලීන බදු, මිලදී ගැනීම වැනි ඔබට අවශ්‍ය දේපළ අත්පත් කර ගැනීමට බොහෝ ක්‍රම තිබේ. ඔබ එම දේපලෙහි දිගුකාලීන ව්‍යාපාරයක් සැලසුම් කරන්නේ නම්, මිලදී ගැනීම හෝ දිගු කාලීන බදු (අවුරුදු 20 -30) සඳහා යාමට වඩා හොඳය. එය අනාගත ගැටළු අවම කරනු ඇත. අනෙක් අතට, ඔබ එකම ස්ථානයක ව්‍යාපාරය කරගෙන යාමට අදහස් නොකරන්නේ නම්, ඔබට කෙටිකාලීන බදු ක්‍රමයට යා හැකිය.

6. වෙනත් උපකාරක සේවාවන් වෙත ඇති දුර - වෙනත් උපකාරක සේවාවන් ද සමීපයේ පිහිටි ස්ථානයක් ඔබට සොයා ගත හැකි නම් වඩා හොඳය. වෙනත් සේවාවන් යනු බැංකු, කුලී නිවාස, සුපිරි වෙළඳසැල්, රෝහල් සහ රජයේ කාර්යාල ය. මෙම සියලු සේවාවන් සමඟ ඔබේ දේපළ වටිනාකම මෙන්ම ඔබේ ආයෝජන ද ඉහළ යනු ඇත.

ඉහත සියලු සාධක සපුරාලන දේපලක් සොයා ගැනීම පහසු නොවනු ඇත. කෙසේ වෙතත් ඔබ ඉහත සඳහන් සියලු සාධක නිසි ලෙස අධ්‍යයනය කළ යුතු අතර ව්‍යාපාරය සඳහා දේපලක් තෝරා ගැනීමේදී ප්‍රශස්ත විසඳුමක් තෝරා ගත යුතුය. ඔබ මෙම සියලු සාධක සලකා බැලුවහොත්, ඔබට ව්‍යාපාරයට අමතරව දේපල මගින්ද අනාගතයේදී හොඳ ලාභයක් හෝ වටිනාකමක් උපයා ගත හැකිය.

No comments:

Post a Comment

Archived Posts